Article
පරිසර බලපෑම් තක්සේරු වාර්තාවකින් බලාපොරොත්තු වන්නේ පාරිසරික අනුමැතිය ලබා ගැනීම පමණක් නොවේ. මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් තිරසර ව්‍යාපෘතියක් බවට පත් කර, උපරිම ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා යෝග්‍ය ක්‍රමවේද හා ව්‍යාපෘතිය ස්ථාන ගත කළ යුතු ප්‍රදේශ හඳුනා ගැනීම ද එමගින් සිදු වේ. එපමණක් නොව සංවර්ධන ව්‍යාපෘතියකින් ඇති විය හැකි බලපෑම් පිළිබඳව පූර්ව අවධානයට ලක් කර හඳුනාගත් බලපෑම් වැළැක්වීමට හෝ පාලනය කිරීමට හෝ අවම කිරීමට වැදගත් වන උපායමාර්ග යෙදීම ද පරිසර බලපෑම් තක්සේරු වාර්තාවකින් සිදු කෙරේ. මේ නිසා මෙම වාර්තාව පූර්ව නිගමන මත නොව විද්‍යාත්මක පර්යේෂණ සහ ව්‍යාපෘතියට යෝග්‍ය ස්ථානය හඳුනා ගැනීමට පුලුල් විකල්ප අධ්‍යයනයන් මත පදනම් ව සැකසීම සිදු කළ යුතු ය.
ජාත්‍යන්තරව පිළිගත් පාරිසරික මූලධර්ම දෙකක් මත පදනම් ව පාරිසරික අණ පනත් මගින් පරිසර බලපෑම් තක්සේරුකරන ක්‍රියාවලිය නියාමනය වේ. ඉන් පළමු මූලධර්මය තිරසර සංවර්ධන මූලධර්මයයි. 1987 වසරේ දී බෲඩ්ලන් කොමිසම මගින් සකස් කළ “අපේ පොදු අනාගතය” (Our Common Future) නම් වාර්තාවේ වර්තමාන හා අනාගත පරපුරට සමාන ව සම්පත් බුක්ති විදීමට ඇති අයිතිය සුරක්ෂිත කිරීම සඳහා වන තිරසර සංවර්ධන සංකල්පය හඳුන්වා දී තිබේ. 1992 වසරේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ රියෝ ප්‍රකාශනයේ 4 වන මූලධර්මය ලෙස මෙය විග්‍රහ කර ඇත.
පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලිය පදනම් වන දෙවන මූලධර්මය නම් සංවර්ධන ව්‍යාපෘතියකින් ඇති විය හැකි බලපෑම් පුරෝකථනය කර ඊට පිළියම් සෙවීමට වැදගත් වන පූර්ව ආරක්ෂණ (Precautionary Principle) නැතහොත් නිවාරණ මූලධර්මයයි. 1970 දශකයේ දී ජර්මන් පරිසර නීතියට එක් වූ මෙය රියෝ ප්‍රකාශනයේ 15 වන මූලධර්මය ලෙස දීර්ඝ ව සාකච්ඡාවට ලක් කර තිබේ.
මෙම මූලධර්ම, සංකල්ප හා නීති සියල්ල ගොඩ නංවා ඇත්තේ රටේ ජනතාවගේ පමණක් නොව සියලු ජීවීන්ගේ වර්තමාන හා අනාගත පැවැත්ම සුරක්ෂිත කිරීම උදෙසා ය. මේ සියල්ල උල්ලංඝනය කරමින් සිදු කරන සෑම සංවර්ධන ක්‍රියාවලියකින්ම සිදු වන්නේ සමාජ, ආර්ථික හා පාරිසරික යන සෑම ක්ෂේත්‍රයකම බිඳ වැටීමකි.
මෙවන් දීර්ඝ හැදින්වීමකින් මෙම ලිපිය ආරම්භ කළේ මුතුරාජවෙල තෙත් බිමේ අක්කර 110 ක් ගොඩකර ස්ථාපිත කිරීමට යෝජිත ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන බලාගාර ව්‍යාපෘතියෙන් මේ සියල්ල උල්ලංඝනය කරමින් ආරම්භ කිරීමට උත්සාහ දරන නිසා ය.
පසුගිය මැයි මස 21 වන දා සිට ජූලි මස 8 වන දා දක්වා රජයේ වැඩ කරන දින 30ක කාලයක් මහජන අදහස් සඳහා විවෘත කර තැබූ “ලංවිම සඳහා මුතුරාජවෙල පිහිටි ඉඩම සංවර්ධනය කිරීම” නම් පරිසර බලපෑම් තක්සේරු වාර්තාව විශ්ලේෂණය කර බැලීමේ දී පෙනී ගියේ පාරිසරික මූලධර්ම, පාරිසරික අණ පනත් හා පාරිසරික ප්‍රතිපත්ති යන සියල්ල උල්ලංඝනය කරමින් සැකසූ වාර්තාවක් බව ය.
නීති විරෝධී වාර්තාවකින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැරසෙයි
ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක ප්‍රධාන අංගයක් ලෙස අන්තර්ගත විය යුතු ප්‍රමාණවත් විකල්ප අධ්‍යයනය මෙම වාර්තාවට ඇතුළත් කර නොමැත. විකල්ප අධ්‍යයනය මගින් බලාපොරොත්තු වන්නේ යම් ව්‍යාපෘතියකට යෝග්‍ය විකල්ප 3 ක් අතුරෙන් ඉතා ම යෝග්‍ය විකල්පය සාධාරනීකරණය කිරීමට කරුණු ගොණු කිරීමයි. එමගින් ව්‍යාපෘතියකට සුදුසු ම භූමිය හෝ ක්‍රමවේදය හඳුනා ගැනීමට හැකියාව ලැබේ. නමුත් එම ප්‍රධාන නෛතික අංගය ම මෙම වාර්තාවට ඇතුළත් කර නොමැත. ඊට හේතුව මීට වසර තුනකට ප්‍රථම මෙම ව්‍යාපෘතිය සඳහා මුතුරාජවෙල තෙත් බිමෙන් වෙන් කළ භූමිය සාධාරනීකරණය කිරීමට මෙම වාර්තාවෙන් කරුණු ගොණු කර තිබීම ය. ඒ අනුව පෙනී යන්නේ පූර්ව නිගමන මත මෙම පරිසර බලපෑම් තක්සේරු වාර්තාව සකස් කර ඇති බව ය. එපමණක් නොව පරිසර බලපෑම් තක්සේරු වාර්තාවකින් තොර ව මුතුරාජවෙල තෙත් බිම් පද්ධතියේ සුවිශේෂී තෙත් බිම් අක්කර 110 ක් මෙලෙස වෙන් කර ඇත. එම තෙත් බිම් වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පට්ටියවෙල ග්‍රාම නිලධාරී වසමට අයත් වේ. බලාගාර සඳහා ගොඩ කිරීමට මෙලෙස සැලැසුම් කර ඇත්තේ ජාතික පාරිසරික පනත යටතේ පරිසර ආරක්ෂක කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කළ සුවිශේෂී තෙත් බිම් ප්‍රදේශයකි.
2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 24 ඇ හා ඈ වගන්තිවලට අනුව ප්‍රකාශිත 2006.10.13 වන දින අංක 1466/26 දරන අති විශෙෂ ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර 206.678 ක් ලෙස ප්‍රකාශයට පත් කළ මුතුරාජවෙල පරිසර ආරක්ෂක ප්‍රදේශය 2018.09.25 වන දින අංක 2090/11 දරන ගැසට් නිවේදනය මගින් හෙක්ටයාර 162.10 ක් වන මුතුරාජවෙල පරිසර ආරක්ෂණ ප්‍රදේශය ලෙස ප්‍රකාශයට පත් කර හෙක්ටයාර 44.578 ක (අක්කර 110 ක්) වන තෙත් බිම් ප්‍රමාණයක් මුතුරාජවෙල පරිසර ආරක්ෂණ ප්‍රදේශයෙන් ඉවත් කර මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් වෙන් කිරීම සිදු කර තිබේ.
ඒ අනුව තහවුරු වන්නේ පරිසර බලපෑම් තක්සේරු වාර්තාව මත පදනම් ව ව්‍යාපෘතිය සැලැසුම් කිරීම වෙනුවට, පළමු ව වෙන් කළ භූමි ප්‍රදේශයක් මත පදනම් ව පරිසර බලපෑම් තක්සේරු වාර්තාව සකස් කර ඇති බව යි. මේ නිසා විකල්ප අධ්‍යයනයන් මත පදනම් ව යෝජිත ව්‍යාපෘතිය සඳහා යෝග්‍ය ව්‍යාපෘති ප්‍රදේශය හඳුනා ගැනීමේ ක්‍රමවේද ක්‍රියාත්මක කර නොමැත. මේ මගින් ජාතික පාරිසරික පනත හා පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාපටිපාටියේ මූලික සිද්ධාන්ත උල්ලංඝනය කර මෙම පරිසර බලපෑම් තක්සේරු වාර්තාව සකස් කර ඇති බව තහවුරු වේ. මෙවන් දැවැන්ත විදුලි බලාගාර ව්‍යාපෘතියක් අක්‍රමවත් වාර්තාවක් මත පදනම්ව ක්‍රියාත්මක කිරීමෙන් සිදු වන්නේ කෙටි කාලයකින් ම බිඳ වැටීමට ලක් වීමයි.
පරිසර තක්සේරුවකින් තොර ව කැබිනට් අනුමැතීන් මත ඉඩම් වෙන් කිරීම
යෝජිත ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාර ඉදි කිරීම සඳහා පළමු කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇත්තේ 2017.07.12 වන දින ය. පසුගිය රජයේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා හා ජාත්‍යන්තර වෙළද අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට් සංදේශය සඳහා අනුමැතිය ලබා දී තිබේ. එම කැබිනට් පත්‍රිකාවෙන් අනුමැතිය ලබා ගෙන ඇත්තේ ඉන්දියානු හා ජපන් රජයන්ගේ සහයෝගයෙන් මෙගා වොට් 500 ක ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාර දෙකක් ස්ථාපනය කිරීම සඳහා ය.
දෙවන කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇත්තේ 2018.02.27 වන දින ය. පසුගිය රජයේ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍යවරයා සහ වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති ඒකාබද්ධ කැබිනට් සංදේශය සඳහා අනුමැතිය ලබා දී තිබේ. එහි සඳහන් වන්නේ ද්‍රවීකෘත ස්වාභාවික වායු පර්යන්තයක් සහ පාවෙන ස්වාභාවික වායු පර්යන්තයක් ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා, ඉන්දියා හා ජපන් ආයතන අතර ත්‍රෛපාර්ශවීය අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීම ය. එහි දී ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියානු රජය සහ ජපාන රජය සමග ඒකාබද්ධව කොළඹ, කෙරවලපිටිය ප්‍රදේශයේ ද්‍රවීකෘත ස්වාභාවික වායු පර්යන්තයක් හා පාවෙන ද්‍රවීකෘත ස්වාභාවික වායු පර්යන්තයක් ස්ථාපිත කිරීමත්, විදුලි ජනන කටයුතු සඳහා ස්වාභාවික වායු බෙදා හැරීමේ යටිතල පහසුකම් ස්ථාපිත කිරීමටත්, අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමට අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවනු ලබන හවුල් ව්‍යාපෘතියෙහි 15% ක කොටස් හිමිකාරීත්වයක් ශ්‍රී ලංකා රජයට අයත් සීමාසහිත ශ්‍රී ලංකා ගෑස් ටර්මිනල් සමාගම වෙත ද, 47.5% ක කොටස් හිමිකාරීත්වයක් ඉන්දියානු රජය විසින් නම් කරනු ලැබ ඇති පෙට්ට්‍රොනෙට් එල්. එන්. ජී. සමාගම වෙත ද, 37.5% ක කොටස් හිමිකාරීත්වයක් ජපන් රජය විසින් නම් කර ඇති සෙජිට්ස් සමාගම සහ මිට්සුබිෂී සමාගම අතර වන හවුල්කාරීත්වය වෙත ද පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව මූලික ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමේ අරමුණින් අදාළ පාර්ශව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමටත්, යෝජිත හවුල් ව්‍යාපාරය ස්ථාපිත කිරීම සඳහා ඉන්දියානු හා ජපාන පාර්ශව සමග ගිවිසුම්වලට එළැඹීමට ශ්‍රී ලංකා ගෑස් ටර්මිනල් සමාගමට බලය පැවරීමටත් කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
පසුගිය රජයේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට අනුව කෙරවලපිටිය ස්වාභාවික වායු විදුලි බලාගාර ඉදි කිරීම සඳහා ඉඩම් වෙන් කිරීමට 2018.07.10 වන දින කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව ඉන්දියාව හා ජපානය සමග ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙගාවෙට් 500 බැගින් වූ ද්‍රවීකෘත ස්වාභාවික වායු විදුලි බලාගාර දෙකක් ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. වැඩි ම විදුලි ඉල්ලුම පවතින කොළඹ වරාය නගරය හා තදාසන්න ප්‍රදේශවලට ආසන්නව පිහිටීම, ආනයනය කරනු ලබන ද්‍රවීකෘත ස්වාභාවික වායු ගොඩබෑමේ පර්යන්ත ඉදි කිරීමට සුදුසු පිහිටීමක් සහිත වීම, සිසිලනය සඳහා ජලය ලබා ගැනීමට ඇති හැකියාව සහ බලාගාරය ඉදි කිරීමට යොදා ගත හැකි සුදුසු ම ප්‍රදේශය ලෙස කෙරවලපිටිය ප්‍රදේශය හඳුනාගෙන ලැබ ඇත. ඒ අනුව කෙරවලපිටිය ප්‍රදේශයේ රජය සතු අක්කර 110 ක භූමි භාගයක් නිසි පාරිසරික ඇගයීමක් සිදු කිරීමෙන් අනතුරුව, යෝජිත ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාරය ඉදි කිරීම සඳහා මෙම කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
මෙම කැබිනට් අනුමැතීන් විශ්ලේෂණය කිරීමේ දී පෙනී යන්නේ යෝජිත ව්‍යාපෘති භූමි ප්‍රදේශය හඳුනා ගැනීම සඳහා මූලික ශක්‍යතා ඇගයීමක් හෝ උපායමාර්ගික පරිසර බලපෑම් ඇගයීමක් හෝ මූලික ව්‍යාපෘති වාර්තාවක් හෝ සකස් කර නොමැති බව යි. එවන් තත්ත්වයක් තුළ මෙම පරිසර බලපෑම් තක්සේරු වාර්තාවෙන් යෝජිත ව්‍යාපෘතිය තිරසර ව්‍යාපෘතියක් ලෙස ස්ථාපිත කිරීම
Related Keywords