'තිස්සමහා&#x

'තිස්සමහාරාම වැව නීති විරෝධීව හාරන්නේ චීන සමාගමක්' – රොන්මඩ තුළින් මතුවන ඇත්ත කතාව!! – Vikalpa


Article
වැවක් යනු ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට ඉතා ම හොඳ උදාහරණයකි. මිනිසා විසින් ගොඩනගන ලද වැව් ඉතා කෙටි කලකින් ස්වභාවීකරණයට ලක් වේ. ඒ මත ජෛව ප්‍රජාවක්, සංස්කෘතියක් හා කෘෂි ආර්ථිකයක් ගොඩනැංවේ. වැව නිර්මාණයේ දී සිදු වන පාරිසරික බලපෑමට සාපේක්ෂ ව අලුතින් පරිසර පද්ධති ගොඩනැංවී ඒ මත විශාල ජෛව ප්‍රජාවකට රැකවරණය හිමි වීමෙන් ඉදිකිරීම් කාලයේ දී ඇති වූ පාරිසරික බලපෑම් ඉතා කෙටි කලකින් හානිපූරණය වේ. මේ නිසා වැව යනු අවිවාදයෙන් ම තිරසර සංවර්ධනයට ඇති හොඳ ම උදාහරණය ලෙස පෙන්වා දිය හැකි ය.
වසර දහස් ගණනක් ස්වභාවීකරණයට ලක් වූ සුවිශේෂී ජෛව ප්‍රජාවකට රැකවරණය සලසන, කෘෂි ආර්ථිකයක් ගොඩනංවන වැව් කිසිදු සැලැසුමකින් තොර ව ජල ගබඩාවක් ලෙස සැකසීමට ගැඹුරු කිරීම සඳහා හෑරීම ඉතා ම හානි කර ය. නමුත් වර්තමානයේ මේ තත්ත්වයට ගොදුරු ව ඇත්තේ තිස්ස වැව හෙවත් තිස්සමහාරාම වැව යි. යන්ත්‍ර සූත්‍ර භාවිතා කර වැවෙහි පස් හා රොන්මඩ කැනීම සහ වැලි නිස්සාරණය කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා වාරිමාර්ග අමාත්‍යංශය එක් ව නීති විරෝධී ව චීන සමාගමකට පවරා තිබේ. මෙම කැනීම් මගින් බලාපොරොත්තු වන්නේ වැවේ ජල ධාරිතාව වැඩි කර, විශාල ජල ප්‍රමාණයක් රදවා ගැනීමයි. නමුත් මෙම ව්‍යාපෘතියේ යටි අරමුණ වන්නේ හම්බන්තොට මහ නගර සංවර්ධනය යටතේ චීන සමාගම් ගණනාවක් විසින් ක්‍රියාත්මක කරන මාගම්පුර වරාය ඇතුළු ව්‍යාපෘතිවලට හා ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත අක්කර 15,000 ක චීන කර්මාන්තපුරයට ජලය ලබා ගැනීමට ය.
මේ ව්‍යාපෘතිය හේතුවෙන් තිස්සමහාරාම වැවෙන් වාරි ජලය සපයන කුඹුරු අක්කර 3115 ක පමණ වී ගොවිතැනේ නිරත විශාල ගොවි ජනතාවක් අවතැන් වීමට නියමිත ය. මීට අමතර ව වැවෙහි මිරිදිය ධීවර කර්මාන්තයේ නිරත ධීවර පවුල් 200 කට වැඩි ප්‍රමාණයක් දැඩි බලපෑමට ලක් වනු ඇත. නමුත් මේ පිළිබඳ ව කිසිදු අධ්‍යයනයකින් තොර ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ චීන සමාගම්වල ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඇති බාධකයන් වන ගොවීන් හා මිරිදිය ධීවරයන් මේ තුළින් පහසුවෙන් ඉවත් කිරීමට හැකි වීම නිසා ය.
වැවක් යනු හුදු ජල ගබඩාවක් පමණක් නොවේ. වැව මගින් විශාල ප්‍රදේශයක භූගත ජල මට්ටම ඉහළ අගයක පවත්වාගෙන යාම සිදු කරයි. ඒ මගින් වැවේ ජලය ලබා ගෙන සිදු කරන කෘෂි කර්මාන්තයට අමතර ව වැවෙන් පවත්වාගෙන යන ඉහළ භූගත ජල මට්ටම මගින් කෘෂිකර්මාන්තයට හා ජෛව සුරක්ෂිතතාවයට ලබා දෙන දායකත්වය ඉහළ මට්ටමක පවතී.
වීරවිල – තිස්ස අභය භූමියේ ජෛව පද්ධතිය වැනසීම
දීර්ඝ කාලයක් ස්වභාවීකරණය වූ වැවක මිරිදිය ජලජ ජීවීන්ගේ විවිධත්වය ඉහළ මට්ටමක පවතින අතර එම ජීවීන් බෝවන පරිසර පද්ධති බොහොමයක් නිර්මාණය වේ. එපමණක් නොව ඒ මත දේශීය හා සංක්‍රමණික ජලජ පක්ෂි විශේෂ හා උරග විශේෂ බොහොමයක් යැපෙති. වැව් ආශ්‍රිත ව පිහිටි විශාල වෘක්ෂ බොහෝ දේශීය ජලජ පක්ෂීන්ගේ බෝවීමේ ප්‍රදේශ වේ. තිස්සමහාරාම වැවේ ද මේ තත්ත්වය ඉතා හොඳින් දැක ගත හැකි වේ. මෙම වැව දේශීය නේවාසික පක්ෂි විශේෂවලින් ගහන සුවිශේෂී තෙත් බිමකි. මෙරට කුඩා ම නේවාසික ජලජ පක්ෂියා වන ගෙඹි සේරා (Little Grebe) ගේ සිට අළු පැස්තුඩුවා (Spot – billed Pelican), හංසකාවා (Indian Darter), දියකාවා (Indian Shag), පුංචි දියකාවා (Little Cormorant), කලපු කොකා (Grey Heron), කරවැල් කොකා (Purple Heron), ලතුවැකියා (Painted Stork), විවර තුඩුවා (Open bill Stork), බළල් සේරා (Pheasant – tailed Jacana) වැනි විශේෂ බොහොමයක් තිස්සමහාරාම වැව නිවහන කර ගෙන ජීවත් වේ. යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන සිදු කරන වැවේ පස් හා රොන්මඩ ඉවත් කිරීම හේතුවෙන් මත්ස්‍යයින්, මිරිදිය ඉස්සන්, මිරිදිය කකූළුවන් හා මිරිදිය බෙල්ලන් බෝවන ජලජ පරිසර පද්ධති සියල්ල මුළුමනින් ම විනාශ වී යන අතර ඒ මත යැපෙන ජලජ පක්ෂීන් ද කෙටි කලකින් විනාශයට ලක් වේ.
මිරිදිය ජෛව පද්ධතියක් ලෙස තිස්සමහාරාම වැවේ සුවිශේෂත්වය හේතුවෙන් 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත නීති ගත වීමෙන් පසු ව පළමුවෙන් ම අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කළ ප්‍රදේශයක් ලෙස මෙම වැව ආශ්‍රිත ප්‍රදේශය සැලැකේ. තිස්සමහාරාම වැව ඇතුළු ව ඒ වටා පිහිටි වීරවිල වැව, පන්නෙගමුව වැව හා දෙඹර වැව අයත් වන අක්කර 10290 ක් වන සමස්ත ප්‍රදේශය වීරවිල – තිස්ස අභය භූමිය ලෙස වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2(2) වගන්තියට අනුව 1938 මැයි මස 27 වන දින අංක 8370 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව තිස්සමහාරාම වැව ඇතුළු භූමි ප්‍රදේශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වේ.
ආර්. එල්. බ්‍රෝහියර් ගේ වාර්තාවලට අනුව ක්‍රිස්තු පූර්ව 307 දී රුහුණු රාජධානියේ රජ කළ මහානාග රජු විසින් කිරිදි ඔය නිම්නයේ වාරි පද්ධතිය සකස් කර ඇති අතර ඔහු විසින් තිස්ස වැව කරවන ලද බවට සඳහන් වේ. ඉන් පසු ව 1871 වසරේ දී මෙම වැව ප්‍රතිසංස්කරණය කර කුඹුරු අක්කර 3115 කට යල හා මහ දෙකන්නයේ වාරි ජලය සැපයීම සුරක්ෂිත කොට තිබේ. නමුත් වත්මන් පාලකයින් මහානාග රජු විසින් රටවැසියන් වෙනුවෙන් ගොඩනැංවූ හා අප රට යටත් කර ගෙන සිටි ඉංග්‍රිසීන් විසින් රටේ සහල් නිෂ්පාදනය ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිසංස්කරණය කර මෙරට ගොවි ජනතාව වෙනුවෙන් සුරක්ෂිත කළ තිස්ස වැව චීන සමාගම්වල අවශ්‍යතා වෙනුවෙන් ජනතාවගෙන් අහිමි කිරීම රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.
තිස්සමහාරාම වැව මෙරට වැව් අතර මධ්‍යම ප්‍රමාණයේ වැවකි. කිලෝමීටර 1.2 ක් දිග වැව් බැම්මක් සහිත මෙහි මතුපිට උපරිම ජල පැතිරුම් භූමි ප්‍රමාණය අක්කර 704 ක් (හෙක්ටයාර 285 ක්) පමණ වේ. වැවේ උපරිම ගැඹුර මීටර 4.7 ක් පමණ වන අතර උපරිම ජල ධාරිතාවය ඝන මීටර මිලියන 3.9 ක් පමණ වේ. කිරිදි ඔය නිම්නයේ පිහිටි තිස්සමහාරාම වැවට කිරිදි ඔය වාරි ව්‍යාපාරය යටතේ වම් ඉවුරු ප්‍රධාන ඇළ මාර්ගයෙන් ජලය සැපයේ. මීට අමතර ව බිංකෙමහෙළ හා බෙරලියහෙළ කඳුවැටි මෙම වැවෙහි ජල පෝෂක ප්‍රදේශ වේ.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා නොගැනීම
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන තිස්සමහාරාම වැවෙහි පස් හා රොන්මඩ කැනීම් කටයුතු සඳහා කිසිදු අනුමැතියක් හෝ අධ්‍යයනයක් හෝ සිදු කර නොමැත. මෙවන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් මූලික ශක්‍යතා අධ්‍යයනයක් සිදු කළ යුතු ය. ඒ මත පදනම් ව සියලු ක්‍රියාමාර්ගවලට පිවිසිය යුතු ය. නමුත් මේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ද ලබා ගෙන නොමැත. එසේ නමුත් 2021 මැයි මස 10 වන දින කැබිනට් මණ්ඩලය විසින් මහවැලි ජලාශවල රොන්මඩ ඉවත් කිරීම සඳහා මූලික ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට හා ඒ මත පදනම් ව රෙන්මඩ ඉවත් කිරීම සඳහා සුදුසු දේශීය හෝ අන්තර්ජාතික ආයතනයක් වෙත පැවරීමට වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා අනුමැතිය ලබා දී තිබේ. එහෙත් තිස්සමහාරාම වැවේ පස් හා රොන්මඩ ඉවත් කිරීමට සහ එමගින් වැලි නිස්සාරණය කිරීමට මෙන්ම එම වැලි අලෙවි කිරීමට චීන සමාගම වෙත පැවරීමට මූලික ශක්‍යතා අධ්‍යයනයක් හෝ කැබිනට් අනුමැතියක් හෝ ලබා ගෙන නොමැති වීමෙන් පෙනී යන්නේ චීන සමාගම්වල සියලු ඉල්ලීම් වෙනුවෙන් වත්මන් ආණ්ඩුව නීති රීති හා අණ පනත් ඇතුළු සියල්ල මෙන් ම ජනතාවගේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කරමින් කටයුතු කරන බව ය. චීන සමාගම් සමග සිදු කරන බොහෝ ව්‍යාපෘති මේ ආකාරයෙන් නීති විරෝධී ව, නිවැරදි සැලැසුමකට අනුව සිදු නොවීම විශාල ගැටළුවකි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම
තිස්සමහාරාම වැවේ පස් හා රොන්මඩ කැනීම හා වැලි නිස්සාරණය කිරීම සිදු කරන්නේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත, ජාතික පාරිසරික පනත හා පුරාවස්තු ආඥාපනත උල්ලංඝනය කරමිනි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන් වන පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් කොටසේ 12(1) ව්‍යවස්ථාවට අනුව නීතිය පසිදලීම හා ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේ ය යනුවෙන් සඳහන් වේ. එපමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කොටසේ ම 14(1)(උ) ව්‍යවස්ථාවට අනුව නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක නිරත වීමේ අයිතිය පිළිබඳ ව සඳහන් කර ඇත. නමුත් මෙම ව්‍යාපෘතිය හේතුවෙන් කෘෂි කර්මාන්තයේ හා මිරිදිය ධීවර කර්මාන්තයේ නිරත වීමේ අයිතිය සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදය යටතේ දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසේ 27(14) ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට, සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුත්තේ ය යනුවෙන් සඳහන් වේ. නමුත් වීරවිල – තිස්ස අභය භූමිය හා එහි ජෛව ප්‍රජාව වනසමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජය විසින් නීති විරෝධීව සියලු ක්‍රියාමාර්ග ගෙන ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා වාරිමාර්ග අමාත්‍යංශය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ජනතාවගේ මූලික අයිතිවාස්කම් හා රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම පවා උල්ලංඝනය කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් පෙනී යන්නේ චීන සමාගම් වෙනුවෙන් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාත්මක වීමේ ස්වභාව යයි.
වනජීවී ආඥාපනත උල්ලංඝනය කිරීම
2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2(2) උප වගන්තියට අනුව ප්‍රකාශිත වීරවිල – තිස්ස අභය භූමියේ වනජීවීන්ගේ පැවැත්මට හෝ පරිසර පද්ධතියේ පැවැත්මට බලපෑම් වන කැනීම් කටයුතු, වනජීවී වාසස්ථාන විනාශ කිරීම ඇතුළු ඔනෑ ම ක්‍රියාවක නිරත වීම 7(1)(ආ) උප වගන්තියට අනුව නීති විරෝධී වේ. එවන් නීති විර

Related Keywords

China , Ruhuna , Southern , Sri Lanka , Tissa , , For International , Jali Hotel , Department Or , Land Commission , No Of National , Or National , Tissa Lake Or , Harbour Port , Tank Run , Tissa Sanctuary , May July , Ruhuna United Kingdom , Tissa Lake , Tissa Lake China , Operations Principles , Hambantota Central , Act Sub , Forest Land , Land Commission General Department , சீனா , தெற்கு , ஸ்ரீ லங்கா , திசு , அல்லது சர்வதேச , அலி ஹோட்டல் , துறை அல்லது , நில தரகு , அல்லது தேசிய , இருக்கலாம் ஜூலை , காடு நில ,

© 2025 Vimarsana